මදර් ශ්‍රී ලංකා මාතෘ භුමිය වෙනුවෙන් කරනු ලබන නිහඬ සේවයේ දසවන සංවත්සරය සමරයි: තරුණ නායකත්වය සහ සහජීවන කඳවුර සහ දේශීය නිපැයුම් වෙළඳසැල

Posted on December 13, 2018 Edited December 17, 2018 by Mother Sri Lanka



මාතෘභූමිය වෙනුවෙන් සේවයට කැපවුණු පුරා දශකයක කාලයක් සනිටුහන් කරමින් මදර් ශ්‍රී ලංකා සංවිධානය සිය 10 වැනි සංවත්සරය සමරන ලදී. සිය දස වන සංවත්සරය වෙනුවෙන් ලෝක ළමා දිනයට සමගාමීව තරුණ නායකත්වය සහ සහජීවනය පිලිබඳ පුහුණු කඳවුරක් 2018 ඔක්තෝබර් 30 සිට ඔක්තෝබර් 2 වන දින දක්වා පැවැත්වූ අතර 2018 නොවැම්බර් මස 28 දින දේශීය නිපැයුම් වෙළඳ සැලක් බත්තරමුල්ලේ දී විවෘත කරන ලදී.

මදර් ශ්‍රී ලංකා විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රජා සංවර්ධන ව්‍යපෘති තරඟාවලියෙහි සමාප්තිය සංකේතවත් කරමින් 2017/18 වර්ෂ සඳහා RUN ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද පාසල් සඳහා සම්මාන සහ ත්‍යාග ප්‍රදානෝත්සවය NSBM හරිත විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙවර 6 වන වරට පවත්වන ලද , වසර දෙකකට වරක් පවත්වන මදර් ශ්‍රී ලංකා විශාලතම පාසල් වැඩසටහනෙන් ජයග්‍රහණය ලැබූ දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරන සිසු දරු දැරියන් සහ ගුරුභවතුන් ඇතුළු 700 කට අධික පිරිසක් මේ සඳහා සහභාගි වූහ. මින් අනතුරුව, ජයග්‍රාහී පාසල්වල නායකයින් සඳහා තරුණ නායකත්වය සහ සහජීවනය පුහුණු කඳවුරක් දින 3ක් පුරා තරුණ නායකයන් 250 දෙනෙකු සහ සහ ඔවුන්ගේ ගුරුවරුන් සඳහා මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මදර් ශ්‍රී ලංකා තම විෂයපථය පුළුල් කරමින් දරුවන් වෙනුවෙන් සිදු කරන මෙහෙයට අමතර වැඩිහිටි ප්‍රජාව කෙරෙහි ද අවධානය යොමු කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ අනුව ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් වසර 2 ක කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන අතර ස්වයං රැකියාවේ නියුතු 30 කට අධික පිරිසකට තම නිෂ්පාදන නිර්මාණකරණය, ඇසුරුම්කරණය, සහ අළෙවිකරණය යන කාරණා සඳහා සඳහා අවශ්‍ය සහය මදර් ශ්‍රී ලංකා විසින් ලබා දේ. මේ සෑම භාණ්ඩයක්ම සැබැවින්ම ශ්‍රී ලාංකික වන අතර ශ්‍රී ලංකාවට අනන්‍ය වූ කලාව හා සංස්කෘතිය පිළිබිඹු කරන ලියවැල්, ජාතික සංකේත, ස්වභාවික ද්‍රව්‍ය සහ පින්තුරවලින් සමන්විතව නිර්මාණය කර ඇත. බොහොමයක් නිෂ්පාදන 100% ක්ම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණකරුවන්ගේ දෑතින්ම ඉතාමත් සුපරික්ෂාකාරිව හා සියුම්ව නිර්මාණය කර ඇත.මෙම වෙළඳසැලේ ඇති භාණ්ඩ එකතුව තුළ අත්කම් භාණ්ඩ, ඇඳුම්, දැව භාණ්ඩ, සෙරමික් භාණ්ඩ , කඩදාසි සහ මැටි ආශ්‍රිත නිෂ්පාදන , අතින් සාදන ලද ස්වර්ණාභරණ සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා 100% ස්වභාවික ආහාර නිෂ්පාදන ඇතුළත් වේ. මෙම නිෂ්පාදන සියල්ලම බත්තරමුල්ලේ පිහිටි ඔවුන්ගේ වෙළඳසැලෙන් මිල දී ගත හැකි අතරම සීමිත නිෂ්පාදන කිහිපයක් ආර්පිකෝ,ලක්සල,ඔඩෙල් සහ කොට්න් කලෙක්ෂන් හි තෝරාගත් ශාඛාවන්ගෙන් මිලදී ගැනීමට හැක. මෙම භාණ්ඩ අලෙවිකිරීමෙන් ලබෙන සියලු ආදායම් මදර් ශ්‍රී ලංකා විසින් පාසල් සිසුන් සහ ව්‍යවසායකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සේවාවන් වෙනුවෙන් යොදවනු ලැබේ.

“2008 නොවැම්බර් මස 19 වැනි දින මදර් ශ්‍රී ලංකා ආරම්භයේදී , එයින් වසර දහයකට පසුවද අපට මෙම වේදිකාවේම සිටීමට හැකි වෙතැයියැයි මම කිසිවිටකත් නොසිතුවෙමි.මෙම සංවිධානය ආරම්භ කිරීමට මා තුළ පෙලඹීමක් ඇති කලේ එම කාලයේ දී රට තුළ මාතෘ භූමිය කෙරෙහි පැවති ඍණාත්මක ආකල්පයි . මා ඇතුලුව ස්වේච්ඡාවෙන් කටයුතු කරන කණ්ඩායමක් විසින් මෙය ආරම්භයේ සිටම මෙහෙයවන ලද අතර පෞද්ගලික අංශයේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් වලින් හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජනාධිපති කාර්යාලයේ ආශීර්වාදයෙන් මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබේ. මේ කාලය පුරාවටම අප බොහොමයක් බාධක වලට මුහුණ දී ඇති අතර 2015 වසරේදී අප, ආයතනයේ කටයුතු නවතා දැමීමට පවා සිතුවත් ඒ සියලු බාධක පරදමින් අදිටනින් කටයුතු කිරීමට අපට හැකි විය. මේ වන විට අප දිනෙන් දින ශක්තිමත් වෙමින් නොසැලී ඉදිරියටම ගමන් කරන්නෙමු. “අප යමක් අවංකව හා නිවැරදි සිදු කළහොත් , වරදින්නේ නැත ” යන කියමන මදර් ශ්‍රී ලංකාගමන් මඟ දෙස හැරී බැලුවහොත් පැහැදිලි සත්‍යයකි.මෙය යථාර්තයක් බවට පරිවර්තනය කරන ලද්දේ මගේ කණ්ඩායම තුල වූ උනන්දුව හා කැපවීම” යැයි මදර් ශ්‍රී ලංකා සංවිධානයේ නිර්මාතෘ/ සභාපතිනි ආචාර්ය ජානකි කුරුප්පු මැතිනිය ප්‍රකාශ කරන ලදී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය කුරුප්පු ප්‍රකාශ කර සිටියේ “ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම දරුවන් මෙම කඳවුර සඳහා සහභාගී වුණා. ඇතැම් අය ඉතා දුෂ්කර ප්‍රදේශ වලින් පැමිණ සිටි අතර ඔවුන් වේදිකාවට පැමිණ රට වෙනස් කිරීමට ඔවුන් දායකවන්නේ කෙසේද , මේ සුන්දර රටේ වගකීම්සහගත පුරවැසියන් ලෙස කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ඉගෙනගත් ආකාරය පිලිබඳ ඉදිරිපත් කරද්දී අපතුළ හිරිගඩු නැගුනේ නිතැතිණි. අපේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය මගින් අපගේ සැපයුම්කරුවන්ගේ ජීවිත නගා සිටුවීමට අප අවංකවම උත්සාහ කරනවා. ඔවුන් සියල්ලන්ම කුසලතා සහිත මහන්සි වී වැඩකරන්නන්. නමුත් , පාරිභෝගික ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ නිර්මාණකරණයේ, ඇසුරුම්කරණයේ සහ තම නිෂ්පාදන අලෙවිකරණයේ දුර්වලතා නිසා ඔවුන්ට පවතින තරඟකාරී වෙළඳපොළ වෙත ළඟාවීමට නොහැකි වුණා. එවැනි තත්ත්වයක් තිබියදී තමයි අපි ඔවුන්ට සහය වීමට ඉදිරිපත් වුණේ. කෙසේවෙතත්, මේ සඳහා බොහෝ කාලයක් ගත වන බව අප තේරුම්ගත්තා , ඇත්තටම ඔවුන්ගේ ව්‍යාපාර තිරසාර කිරීමට අවශ්‍ය නම්, අප ඔවුන්ගේ ගිණුම්කරණය , පොත් තැබීම ඇතුළු සමස්ත මුල්‍ය කළමණාකරණ කටයුතු සඳහා මැදිහත් විය යුතු බවට තේරුම් ගත්තා. මෙය ඉතා අසීරු සහ වගකීම් සහගත කාර්යයක් වුවද අපේ ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු වනු දැකීමෙන් ලබන සතුට මේ සෑම දෙයකටම වඩා වටින බව මම වටහාගෙන සිටිනවා ” යන්නය.

සැප්තැම්බර් මස 30 සිට ඔක්තෝම්බර් මස 02 දක්වා පැවැත්වූ මදර් ශ්‍රී ලංකා නායකත්ව සහ සහජීවන කඳවුර සඳහා ශ්‍රී ලංකාවේ පළාත් නමයම නියෝජනය වන පරිදි තරුණ නායකයෝ සහභාගී වුහ.රටේ නන් දෙසින් පැමිණි විවිධ සමාජ ,ආර්ථික,ජනවර්ග හා සංස්කෘතීන්ට අයත් තරුණ කණ්ඩායම් එකට එකතු වී විනෝදකාමීව දින තුනක් ගත කිරීමට මෙමගින් හැකිවිය. සැබැවින්ම එය සුවිශේෂී සහ දුර්ලභ අවස්ථාවකි. මේ සඳහා සහභාගීවුවන්ට එකමුතුකම, නායකත්වය සහ වගකිම්සහගතභාවය යන මාතෘකා පිළිබඳව දේශන පවත්වන මෙරට ප්‍රමුඛ පෙලේ සිටින දේශකයන් දහයකට වැඩි පිරිසකගේ දේශනවලට සවන්දීමේ වරප්‍රසාදය හිමි විය.

“ මෙම වැඩසටහන අවසන් වී අද මම ගෙදර යන්නේ වෙනස් පුද්ගලයෙක් විදියටයි මෙහි පැමිණි සියලුම දේශකයන් මා තුල ශ්‍රී ලංකාව පිලිබඳ වූ හැඟීම පුබුදුවාලීමට සහ ශක්තිමත් කිරීමට සමත්විය.අනෙක් වැඩසටහන් මෙන් නොව, මෙහි පැමිණි සෑම කථිකයෙකුම මෙම වැඩසටහනට වටිනාකමක් එකතු කළ අතර එවන් ප්‍රසිද්ධ කථිකයන්ට සවන්දීමට හැකි වීම ලැබීම මා ලැබූ මහඟු අවස්ථාවකි.දෙවන දිනයේදී කණ්ඩායම් ක්‍රියාකාරම් කිරීමේදී මා තුල සැඟව තිබු නායකත්ව ගුණාංග ඉස්මතු කරගැනීමට මට හැකිවිය. එමෙන්ම එහිදී විවිධ ජනවර්ගයන්ට,ආගම්වලට අයත්වූ විවධ පුද්ගලයන් සමග කටයුතු කිරීමට මම අතිශය කැමැත්තක් දැක්වූවා” කඳවුර සඳහා සහභාගිවූ ඇන්ඩෲ බර්නාඩ් තම අදහස් මෙලස තම අදහස් ප්‍රකශ කරන ලදී

“මට 2018 වර්ෂයේ ලෝක ළමා දිනය කිසි දිනෙක අමතක නොවේ. ඒ වගේම සිංහල ,මුස්ලම් සහ දෙමල මිතුරන් සමග ඇතිකරගත් මේ මිත්‍රත්වය මට කිසි දිනෙක අමතක වෙන්නේ නැහැ. අපි මෙම වැඩසටහන මගින් අනෙකුත් ජනවර්ග සමඟ සමගියෙන් ජීවත්වීමේ අගය හොඳින් වටහා ගත්තා”. මෙලෙසින් සිය අදහස් ප්‍රකාශ කරන ලද්දේ මාපුතුගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්. ජේ . ඉමාෂා සිසුවියයි .

මෙම අවස්ථාවට සහභාගි වූ මදර් ශ්‍රී ලංකා විධායක කමිටු සාමාජික රියාස් සාබාන් මහතා මෙම කඳවුරෙන් සමාජයට ඇතිවන බලපෑම පිලිබඳ මෙලෙස අදහස් දක්වන ලදී “හෙට දිනයේ වැඩිහිටියන් වී මවුබිම වෙනුවෙන් ඔවුන්ගේ මෙහෙය ඉටු කිරීමට පෙළගැසී සිටින දරුවන්ගේ මනස තුල නායකත්ව ආකල්ප වර්ධනය කිරීම සඳහා අප ගන්න උත්සාහය ඵල ගැන්වී ඇති බව දකින්නට ලැබීම පිළිබඳව අප අතිශයින්ම සතුටට පත්වනවා.එම කුඩා දරුවන්ගේ මුහුණුවල දක්නට තිබු කාන්තිමත් සිනහව, අන් අය හා එක්ව සමගියෙන් හා සතුටෙන් ගතකිරීමට ඔවුන් තුල ඇති කැමැත්ත පිළිබිඹු කිරීමට සාක්ෂියකි.මේ ලස්සන පරාදීසයේ ආගම් ජාති භේද නොසලකා එකම ජාතියක් වශයෙන් සාමයෙන් සහ සහයෝගයෙන් සිටීමින් සහ වගකීම්සහගත පුරවැසියෙක් බවට පත්වීමට අපගේ අනාගත පරම්පරාවේ සිත්සතන් තුල ස්ථිරසාර අත්තිවාරමක් දැමීම සඳහා අප ගන්නා ලද සාමුහික ප්‍රයත්නයේ සාර්ථකවීම , සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් සඳහා කැප වූ අප සියලු දෙනා ලැබූ විශාල ජයග්‍රහණයකි . ජාතිය වෙනුවෙන් ඉටුකළ එම මෙහෙය වෙනුවෙන් මදර් ශ්‍රී ලංකාහට ආචාර කරමි”.

තරුණ නායකත්වය සහ එකමුතුකම පිලිබඳ පුහුණු කඳවුර සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, එකමුතුකම හා සහජීවන රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය ,බ්‍රැන්ඩික්ස් ලංකා පුද්ගලික සමාගම සහ යූ ලීඩ් (ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ අරමුදලින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ නායකත්ව පුහුණු වැඩසටහනකි.) යන ආයතන අනුග්‍රහය දක්වන ලදී.

Recent Posts

© 2023 All Rights Reserved | Mother Sri Lanka. Powered by Bellvantage Pvt Ltd.

An error has occurred. This application may no longer respond until reloaded. Reload 🗙